Type Here to Get Search Results !

කළිසම වාහනේ ඇතුලේ තියා.. හික්කඩුවේ සභාපති බැහැලා ගියා.. රුපියල් 300 වාහන කතාව..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

“හික්කඩු සභාවේ NPP සභාපතිගේ නිල වාහනය පුද්ගලික පාවිච්චිය සදහා මාසයටම අය කිරීම රුපියල් 300 යි.!” මැයෙන් newshub.lk අප වෙබ් අඩවියේ පලකළ පුවත ඇතුළුව සමාජ මාධ්‍ය, වෙබ් අඩවිහි දැක්වුණු අදහස් සම්බන්ධව ප්‍රතිචාරයක් හික්කඩුව ප්‍රාදේශිය සභාවේ සභාපති යසස්වින් ගොඩකන්ද සිය ෆේස්බුක් ගිනුමේ පළකර තිබේ.

එය නිල වශයෙන් අප වෙත එවා නැතත්, එකී කරුණ ඔහුගේ සටහනට අපගේ ප්‍රවෘත්තිය ද පාදකවී ඇති බව පෙන්නුම් කෙරෙන හෙයින් එකී සටහන කිසිඳු සංස්කරණයකින් තොරව පහත පලකර තිබේ.

හික්කඩුව ප්‍රාදේශිය සභාවේ සභාපති ගේ ප්‍රතිචාරය මෙන්න !

2025/07/02 න්‍යාය පත්‍රයේ තියෙන යෝජනාවක එක කොටසක් fb page කිහිපයකම උපුටා දක්වලා වැරදි මතයක් සමාජගත කරන්න උත්සාහ ගන්නවා දැක්ක නිසා ඊට පිළිතුරු වශයෙන් පොස්ට් එකක් පළකරන්න හිතුනා.
නිළ රථය පෞද්ගලික කාර්‍යායන් සදහා භාවිතා කිරීම කියන එක හිටපු මහ ඇමති වරයෙක් විසින් අනුමත කරන ලද්දක් (මීට අදාල ලිපිය පළවෙනි කොමෙන්ටුවේ පළ කර ඇත.) සහ ඕක සම්ප්‍රදායක් විදියට සෑම සභා ආරම්භයකදිම දාන යෝජනවක්..

PF 7431 දරණ කැබ් රථය සභාපතිගේ නිල වාහනය ලෙස ලබාදීමට සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාවේ කොටසක් විදියට මෙය ඇතුලත් වෙලා තිබුනත්, 2025/07/02 දින පැවති සභාවේදී නිළ රථය පෞද්ගලික කාර්‍ය්යන් සදහා යොදාගැනීමට අදාල කොටස සභාපති ලෙස මා විසින්ම ඉවත් කරගෙන යෝජනාව සංශෝධනය කරලා තමා සම්මත කරගත්තේ.

ඊටත් පසුව තමා මේ න්‍යාය පත්‍රයේ තිබුනු කොටස විතරක් හුවා දක්වමින් විවිධ පුද්ගලයන් විසින් වරින් වර මෙය සමාජ මාධ්‍යට මුදාහරින්නේ. මම කියන දේ විශ්වාස නැත්නම් ඕන කෙනෙක්ට හික්කඩුව නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විමසීමක් කරන්න පුලුවන් එවැනි යෝජනාවක් සම්මත උනාද කියලා.

හික්කඩුව නගර සභාවේ සභාපති ලෙස මම වැඩ ආරම්භ කල දිනයේ සිටම රාජකාරි කාලය තුල පමණයි නිල රථය භාවිත කලේ. රාත්‍රී කාලයේ සහ සති අන්තයේ මාගේ පුද්ගලික රථය තමයි රාජකාරි කටයුත්තකට ගියත් භාවිතා කරේ.

සම්මත නොවිච්ච නමුත් න්‍යාය පත්‍රයේ විතරක් තියෙන කොටසක් අල්ලගෙන අසත්‍ය පතුරන අයට ගෞරවයෙන් ආරාධනා කරනවා මාස කිහිපයක් ගියාට පස්සේ සන්සන්දනය කරලා බලන්න කියලා මීට පෙර හිටපු සභාපති වරුන්ගේ සහ නව සභාපති ලෙස මාගේ ඉන්ධන භාවිතය පිළිබදව.

මෙතෙක් හිටපු සභාපතිවරු සියල්ලටම වඩා ඉන්ධන ඉතුරු කිරීම සහ භාවිතා කරන ඉන්ධන වලින් නගරයට වැඩදායි වැඩක් කිරීමයි මාගේ අරමුණ. ඒ භාවිතා කරන්නෙත් රාජකාරි කාලය තුල පමණයි. 🙏

සංස්කාරක සටහන :

ජනතාව ජීවන වියදම් බරින් හෙම්බත් වී සිටින මොහොතක, ‘සිස්ටම් චේන්ජ්’ ඇතුළු කප්පරක් පොරොන්දු මතින් බලයට ආ ජාතික ජන බලවේගයේ (NPP) මූලික පොරොන්දුවක් වූයේ මහජන ධනය ( ජනතාවගේ බදු මුදල්) කොල්ලකෑ පැවති පාලනයන් වෙනුවට, එම සංස්කෘතිය වෙනස් කර, එම මුදල් රටේ සංවර්ධනයට යෙදවීමය.

විශේෂයෙන් පැවති පාලකයන් රජයේ වාහන පුද්ගලික පරිහරණය සඳහා යෙදවීම ජාතික අපරාධයක් කොට ජාතික ජනබලවේගය වේදිකාවේ සැළකිණ. රජයේ වාහන නොගන්නා, පොදු ප්‍රවාහන සේවයේ ගමන් ගන්නා මහජන සේවකයන් ගේ ආදර්ෂය තම ආණ්ඩුවක් යටතේ බලාගන්න යැයි, එදා වේදිකාවේ වැඩිපුර පාරම් බෑවේ ජාතික ජනබලවේගය පක්ෂයේ ගාල්ලේ නායකත්වය හොබවන වත්මන් නියෝජ්‍ය ඇමති නලින් හේවගේ ය. ඒ නිසාම අද කෙසේවෙතත් ආණ්ඩුව පිහිටවූ මුල් අවදියේ මන්ත‍්‍රීවරුන් 159 න් බහුතරයකට රජයේ වාහන දුන්නේ නැත.

එහෙව් නල්ලමලේ ආදර්ෂ ගැන පුරාජේරු කතා ඇසු, ඒවා විශ්වාස කළ ජනතාව පසුගිය ජාතික මැතිවරණ දෙකෙහිදී මෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජනබලවේගය පක්ෂයට ජන්දය දුන් බව නොරහසකි.

එසේ නම් ගොඩකන්ද මහතාණෙනි , ඔබව විවේචනය වූයේ, බලය ලැබීමෙන් පසුව npp නියෝජිතයන්ගේ සැබෑ ස්වරූපය හෙළිදරව් වෙමින් කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරුණේ මහජන නියෝජිතයන් නිල වාහන භාවිත කිරීමට අප විරුද්ධ නිසා නොව, එය ඔබේ ප්‍රතිපත්තිය ලෙස දැක්වුණු නිසාය.

අවාසනාවකට එහි පළාත් පාලන ආයතන වලට අදාළ නිදර්ශනය බවට ඔබ පත්ව ඇත. එබැවින් මෙහි ප්‍රධාන භූමිකාව ඔබ වීම ගැන අපට කරන්නට දෙයක් නැත.

අබ වපුරා මුං පැතීම මුග්ධය. ඒ අනුව මේ ලැබෙන්නෙත් ඔබලා වැපිරූ දෙයෙහි අස්වැන්න බැවින් එය ඔබලාම සතුය.

ඒ අර්ථයෙන් ගත්කළ හික්කඩුව නගර සභාවේ සභාපති යසස්වින් ගොඩකන්ද ගේ නිල රථය මාසිකව රුපියල් 300ක ‘ගාස්තුවකට’ පෞද්ගලික පරිහරණය සඳහා ලබා ගැනීමට යෝජනා කිරීම, හුදෙක් හාස්‍යජනක සිදුවීමක් නොව, ක්‍රම වෙනසක් ගැන කියා බලය ගත් වත්මන් ආණ්ඩුවේ සමස්ත දේශපාලන ක්‍රමයම කුණුව ඇති බවට වන තවත් ප්‍රබල සාක්ෂියකි.

ගොඩකන්ද සභාපතිතුමනි, ඇත්ත ස්වරූපය හෙළි වූ පසුව ඔබ ‘බොරුකන්දක්’ කීවද වැඩක් නැත.

සභාපති ගොඩකන්ද ‘පැහැදිලි කරන්නේ’ තම කටයුත්ත ‘සම්ප්‍රදායක්’ බවත්, 2014 වසරේ හිටපු මහ ඇමතිවරයෙකුගේ ලිපියකට අනුව න්‍යාය පත්‍රයට එය ඇතුළත් වූ බවත්ය. පසුව තමන් එය සංශෝධනය කර, පෞද්ගලික පරිහරණයට අදාළ කොටස ඉවත් කළ බවත් ඔහු කියයි.

ඒ පැහැදිලි කිරීම් පවා හුදෙක් මහජනතාවගේ බුද්ධියට කරන අපහාසයකි. ‘සිස්ටම් චේන්ජ්’ කියා බලයට ආ ඔබලාට, මහජන මුදල් සූරාකන ( ඔබලාගේ ඉගැන්වීම් අනුව ) මෙවැනි ‘සම්ප්‍රදායන්’ බිඳ දැමීමට නොහැකි ද? න්‍යාය පත්‍රයකට එවැනි යෝජනාවක් මුලින්ම ඇතුළත් කිරීමට තරම් ඔබලා ‘අහිංසක’ ද? මෙය හුදෙක් පරණ හොරුන්ගේ සපත්තු අලුතින් මාරු කරගෙන, එම අපිරිසිදු පා සටහන් දිගටම තැබීමක් නොවේද?

‘නමට පත්තිනි ගේ රෙද්දෙ පුරා තුත්තිරි’ යන කියමන මෙවැනි අවස්ථාවලට මොනවට ගැළපේ. පතිනිය ලෙස පෙනී සිටීමට දරන උත්සාහය, ක්‍රියාවෙන් පාවා දෙන්නේ ඔබලාගේ සැබෑ භාවිතයයි.

පැවති පාලනයන් “දූෂිතයි, රට වැනසුවා, පොදුජන දේපොළ අවභාවිතා කරා, අවුරුදු 75ක් රට වැනසුවා” යැයි කෑගැසූ ඔබ, මහින්ද රාජපක්ෂ ජනාධිපති යුගයේ දකුණු පළාත් මහ ඇමති ශාන් විජේලාල්ගේ ලිපියක් අස්සේ හැංගිලා, මේ වාහන මේනියාව සනීප කරගන්න ලැජ්ජාවක්, බයක්, දැනුණේම නැද්ද? එවැනි යෝජනාවක් න්‍යාය පත්‍රයට ඇතුළත් කරන විට ඔබේ අත වෙව්ලුවේ නැද්ද? ඔබේ හිත ගැස්සුණේ නැද්ද?

එසේම ‘පෞද්ගලික වාහනයක් තියෙනවා’ යන්නෙන් අදහස් වන්නේ ඔබට කිසිදු ආර්ථික අපහසුතාවක් නොමැති බවයි. එසේ නම්, රාජකාරි කටයුතු සඳහා පවා නිල වාහනයක් නොගෙනම ආදර්ශයක් දීමට ඔබට නොහැකි වූයේ ඇයි?

සැබැවින් මේ, විපක්ෂයේ සිටියදී ඔබලා විසින් පිළිකුල් කළ කුණුවූ සැරව ගෙඩියක, ගඳ ගහන ඕජස බලය ලද විට රසවත්ව උරාබොමින් සිටින වගට ප්‍රබල සාක්ෂියක් නොවේද ?

අනෙක් අතට, මාසිකව රුපියල් 300කට කැබ් රථයක් පෞද්ගලිකව පාවිච්චි කිරීමට ලැබීම ඔබ සඵත කළ ප්‍රතිපත්තියේම විරුද්ධාභාසය බව පැහැදිලිව පෙනෙන්නට තිබියදී , ලැජ්ජා විරහිතව එවැනි යෝජනාවක් න්‍යාය පත්‍රයට ඇතුල් කිරීමට ඉඩදීමම ඔබ ලද ජනවරමට කරන දැවැන්ත අපහාසයකි.

අද දින කැබ් රථයක එක් ටයරයක මිල කීයද ? එසේම මාසික නඩත්තු වියදම්, අමතර කොටස්, රක්ෂණය, සේවාවන් ඇතුළු සැබෑ වියදම දස දහස් ගණනකි. 2014 ලිපිය පාදක කරගෙන සිතූවද එකී වියදම් මේ වන විට කිහිප ගුණයකින් ඉහල ගොස් ඇත. එහි අවසන් ශේෂ පත්‍රය නම් රුපියල් 300 කට කැබ් රථයක වයර් කැබැල්ලක් අමුණා ගන්නටවත් නොහැකි බවය.

එසේ නම් සියළු නඩත්තු වියදම් මහජන මුදල්වලින් වැය වන විට, රුපියල් 300ක ‘කුලියක්’ කතා කිරීම කොතරම් ලැජ්ජා නැති දෙයක්ද? ජනතාව මෙතරම් මෝඩයන් ලෙස ඔබලාට පෙනෙනවාද?

එක් අතකින් දිස්ත්‍රික්කයක් දුවන්න තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා නිල වාහන ප්‍රතික්ෂේප කර, පොදු ප්‍රවාහනයෙන් හෝ පෞද්ගලික වාහනයෙන් ගමන් කරන බව කියද්දී, හික්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පෞද්ගලික වාහනයක් තියාගෙනම නිල රථයත් මාසිකව රුපියල් 300කට තම පෞද්ගලික පරිහරණයට ගැනීමට උත්සාහ කිරීමෙන් පෙනී යන්නේ, ‘නව දේශපාලනයක’ කතාන්දරය නොව, ලැබෙන සෑම වරප්‍රසාදයක්ම හිලව් කර ගැනීමට ඇති දැඩි කෑදරකමයි.

කෙසේවෙතත් වැඩේ පත්තුවූ පසුව, සභාපතිවරයා පවසන්නේ තමන් රාජකාරි කාලය තුළ පමණක් නිල රථය භාවිතා කරන බවත්, රාත්‍රී කාලයේ සහ සති අන්තයේ පෞද්ගලික රථය භාවිතා කරන බවත්ය. ඕවා ගමේ – මගේ – තොටේ ඔයැයිලාට රැවටෙන උදවියට මුවින් දොඩා රවට්ටන්න තිබුණු කතා මිස, ෆේස්බුක් වැනි ප්‍රසිද්ධ සමාජ මාධ්‍යකට සුදුසු නැත.

අනෙක් අතට , මාසයකට ඉන්ධන ලීටර් 300ක් නිල රථයට ලබා ගැනීමට යෝජනා සම්මත කර ගත්තේද , සභාවේ වැඩ වලට අමතරව සභාවේ ගිනුමට තවත් කීයක් හෝ එකතු කරන අපේක්ෂාවෙන් “ඌබර්” දුවන්නදැයි අප අහන්නේ නැත. නමුත් මැතිවරණයට පෙර ගහපු කයිවාරුව අනුව නම් ඔය ලීටර් 300ත් පක්ෂ අරමුදලෙන් අරගෙන ඒකත් ඉතුරු කරන්න තිබ්බා නේදැයි යමෙකු ප්‍රශ්න කළොත් ඒකත් වැරදි නැත. අප එවැනි ප්‍රශ්න අසන්නේ නැත. ඒ අපේ ක්‍රමයද නොවේය.

නමුත්, “මෙතෙක් හිටපු සභාපතිවරු සියල්ලටම වඩා ඉන්ධන ඉතුරු කිරීම සහ භාවිතා කරන ඉන්ධන වලින් නගරයට වැඩදායි වැඩක් කිරීමයි මාගේ අරමුණ. ඒ භාවිතා කරන්නෙත් රාජකාරි කාලය තුල පමණයි” ලෙස දක්වමින් පෙන්නුම් කරන්නේ ඔබලා විසින් ගොඩනැගූ මිත්‍යාවේ තවදුරටත් ජනතාව මුලා කරමින් ගිල්වා තබා ගන්නට වෙහෙසෙන බවක් ය.

ඒ හමුවේ පවා පුරුද්දක් ලෙස සියල්ලට විරුද්ධ වෙන, කොයිකත් ප්‍රශ්න කරන, වාහන තිබියදී පයින් යාම ආදර්ශයක් ලෙස සිතන, අදටත් සමාජවාදී සමාජ විප්ලවය ගැන හිතමින් පක්ෂ කාර්‍යාලයේ වේලාව ගෙවා දමන, රතු කමිස ධාරියෙකු පැමිණ, අහන එක ප්‍රශ්නයකින් ඔබේ කලිසම අවධානමේය.

අවසන් වශයෙන් කීමට තිබෙන්නේ, අපට හික්කඩුව ප්‍රාදේශිය සභාවේ සභාපති යසස්වින් ගොඩකන්ද මහතා සමඟ කිසිඳු පෞද්ගලික ගැටීමක් නැත. අප වාර්තා කරේ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තියේ සහ භාවිතාවේ විරුද්ධාභාසයක් ය. එය ප්‍රසිද්ධ කිරීම හුදීජන පහන් සංවේගය පිණිසමය.

කෙසේවෙතත් මේ සටහන තබා අවසන් වන මොහොතේ, “වැරදි මතයක් සමාජගත කරන්න උත්සාහ ගන්නවා දැක්ක නිසා ” යනුවෙන් ඔහු තැබූ සටහනේ නිදර්ශන ලෙස එක්කර තිබූ ජායාරූප දෙකෙන්, newshub.lk ෆේස්බුක් පිටුවේ පළවූ ජායාරූපය ගොඩකන්ද සභාපතිවරයා සංස්කරණය කර ඉවත් කරගෙන ඇත. සමාජ මාධ්‍ය , වෙබ් අවකාශයේ “වැරදි මත සමාජ ගත කරන කැටගරියෙන්” අප ඉවත් කිරීම ගැන ඔහුට කෘතඥතාව පළකරමු.

හික්කඩුව ප්‍රාදේශිය සභාවේ සභාපති යසස්වින් ගොඩකන්ද මහතාණෙනි , අප කෙරෙහි තැබූ විශ්වාසයට ඔබට තුති !

උපුටා ගැනීම - newshub.lk

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads