සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් සිදුකරන බව කියන විමර්ශනයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වීමට විපක්ෂයට අවස්ථාව ලබා නොදීමත් සමඟ අද (10) සභා ගර්භය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
කථානායකවරයාට එරෙහිව සකස් කළ වරප්‍රසාද ප්‍රශ්නයක් සභාගත කිරීමට දයාසිරි ජයසේකර මහතා උත්සාහ කළ අවස්ථාවේදී කථානායකවරයා ඊට බාධා කරමින්, න්‍යාය පත්‍රයට අදාළ කරුණු පමණක් සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස දැනුම් දුන්නේය.
ඊට විරෝධය පළ කළ දයාසිරි ජයසේකර මහතා, කථානායකවරයාට එරෙහි විමර්ශනයක් පවතින අවස්ථාවක ඔහු එම ධුරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය.
“මේවා අහගෙන ඉන්න බැරි නම් නියෝජ්‍ය කථානායකතුමාට පුටුව භාර දී එළියට යන්න” යනුවෙන්ද ඔහු කථානායකවරයාට ප්‍රකාශ කළේය.
පසුව විපක්ෂ මන්ත්‍රීවරුන් “ලැජ්ජයි… ලැජ්ජයි…” යනුවෙන් හඬ නඟමින් විරෝධය පළ කළහ.
මේ අතර මුජිබර් රහුමාන් මහතා පැවසුවේ කථානායකවරයාට එරෙහි පරීක්ෂණයක් සිදුවන අවස්ථාවක එම ධුරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවයි.
එමෙන්ම අවශ්‍ය නම් නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාට එම ධුරය භාරදිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
අශෝක රන්වල මහතා සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා, උපාධි සහතිකය නොතිබුණත් රන්වල මහතාට කථානායක ධුරයේ සිටිය හැකි බවට අදහස් පළ කළේය.


